Press ESC to close

මොකක්ද මේ Starlink කියන්නෙ?

අද ලෝකයේ මිනිස්සු කෝටි 800ක් පමණ සිටිනවා. ඉන් අන්තර්ජාලය භාවිතා කරන්නේ කෝටි 544 ක් පමණ සෙනඟක්. එනම් මුළු ලෝක ජනගහනයෙන් 67.1% ක් පමණ වෙන සෙනඟක්. එහි තේරුම ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා අන්තර්ජාලය භාවිතා නොකරන බවයි. එයට හේතුව, ඒ අයගේ නොකැමැත්ත නොව අන්තර්ජාල සබඳතාව ලබා ගැනීම පිණිස තිබිය යුතු යටිතල පහසුකම් එම ජනයාට නොමැතිවීමයි.

මෙනිසා අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්නට තිබෙන සාම්ප්‍රදායික තාක්ෂණ යෙදුම්වලට පිටින් ගොස්, විකල්ප නව ක්‍රම යොදා ගන්නට තාක්ෂණඥයෝ වෙහෙසෙනවා. ඒවා අතරින් අද යථාර්ථයක් බවට පත්ව ඇති සේවයකි, ස්ටාර්ලිංක්. (starlink.com)

Get Your Site Up with A2 Hosting

ස්ටාර්ලිංක් යනු, අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙනු පිණිස පෘථිවියේ පහළ කක්ෂයක පිහිටුවාලූ ලොව පළමු සහ විශාලතම චන්ද්‍රිකා පිරිවරයි. සාම්ප්‍රදායික අන්තර්ජාල තාක්ෂණ ඔස්සේ සබඳතා ලබා ගතනොහැකි හෝ වේගවත් අන්තර්ජාල සබඳතාවක් නොමැති හෝ තැන්වලට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන්නේ ස්ටාර්ලිංක් වෙතින්.

ඇමෙරිකානු අභ්‍යවකාශ සමාගමක් වෙන ස්පේස්එක්ස් සමාගමට (spacex.com) අයත් ස්ටාර්ලිංක් සේවය, දැන් ලොව පුරා රටවල් 75කට අන්තර්ජාල සේවා සපයන්නේ, විශේෂිත චන්ද්‍රිකා පිරිවරක් යොදා ගෙනයි. කිලෝග්‍රෑම් 800ක පමණ බරැති මෙවැනි චන්ද්‍රිකා 6000 කින් යුත් මෙම චන්ද්‍රිකා පිරිවර, ලොව සෑම රටක්ම ආවරණය වෙන සේ පොළොවට කිලෝමීටර් 550ක් ඉහළ අහසේ පැයට කිලෝමීටර් 27000 වේගයෙන් ගමන් කරමින් තිබෙනවා. එනම් සෑම මිනිත්තු 96කටම වරක් මෙම චන්ද්‍රිකාවක් පොළොව වටා යනවා.

මෙම චන්ද්‍රිකා කක්ෂගත කොට තිබෙන්නේ සම්පූර්ණ පෘථිවි මතුපිටම ආවරණය වෙන පරිදි. එනිසා ඒවා පෘථිවිය වටා විවිධ පථ ඔස්සේ ගමන් කරනවා. මෙසේ ගමන් කරන චන්ද්‍රිකා පෙළක්
ලොව ඕනෑම තැනක සිටින්නෙක්ට පියවි ඇසට පෙනෙනවා. එක පෙළට පිහිටි තරු පෙළක් සේ එය රාත්‍රී අහසේ මවන දර්ශනය චමත්කාරජනකයි.

Starlink චන්ද්‍රිකා රාත්‍රී අහසේ දිස්වන ආකාරය

පහළ පෘථිවි කක්ෂයක (LEO . Low Earth Orbit) රඳවන චන්ද්‍රිකා පිරිවරක උදව්වෙන් පොළොවට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන සේවයක් දියත් කරන බව, ස්පේස්එක්ස් සමාගමේ අයිතිකාර Elon Musk විසින් ප්‍රකාශ කරනු ලැබූයේ, 2015 ජනවාරි 16 වැනිදායි. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැය කරන බව ඔහු කීවා. එහි කූටප්‍රාප්තිය ලෙස ස්ටාර්ලිංක් සේවය දියත් කළේ ඉන් වසර පහකට පසුව, එනම් 2019 මැයි 24 වැනිදා චන්ද්‍රිකා 60ක් කක්ෂගත කරමින්. ඒ ස්පේස්එක්ස් සමාගමේ ෆැල්කන් 9 රොකට්වල රඳවා අභ්‍යවකාශයට යවමින්.

එදා Elon Musk කීවේ, මාස්පතා චන්ද්‍රිකා 44 බැඟින් වසර පහක් තිස්සේ චන්ද්‍රිකා 2200ක් කක්ෂගත කරන බව වුවත්, ඊට වඩා වැඩි වේගයෙන් චන්ද්‍රිකා කක්ෂගත කෙරුණා. දැන් චන්ද්‍රිකා 6078ක් කක්ෂගත කර තිබෙන්නේ වුවත් ඉන් ක්‍රියාත්මක වෙන්නේ 6001කි. මෙම චන්ද්‍රිකා ගණන 34400 දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි.

ස්ටාර්ලිංක් සේවයේ තාක්ෂණික සැලසුම සංකීර්ණ වුවත් සංකල්පය සරලයි. එනම්, සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධය ඇති පොළෝ මධ්‍යස්ථානයක සිට චන්ද්‍රිකා වෙත ලබා දෙන අන්තර්ජාල සම්බන්ධය, චන්ද්‍රිකාවේ සිට නැවත පොළොවේ ඇති ග්‍රාහක ඇන්ටෙනා වෙත පරාවර්තනය කිරිමයි. එවිට ඇන්ටෙනාව හා සම්බන්ධ වයිෆයි රවුටරයෙන් අන්තර්ජාල සම්බන්ධතාව වටපිටාවට ලබා ගත හැකි වෙනවා. මෙසේ පොළොවේ සිට චන්ද්‍රිකා වෙත අන්තර්ජාල සම්බන්ධය ලබා දෙන, ස්ටාර්ලිංක් කමියුනිටි ගේට්වේ ලෙස හඳුන්වන භූ සන්නිවේදන ස්ථාන 150ක් පමණ ස්පෙස් එක්ස් සමාගම විසින් පවත්වා ගෙන යනු ලබනවා.

Starlink ඇන්ටනා උපාංග කට්ටලය

මේ වෙන විට ස්ටාර්ලිංක් සම්බන්ධතාව සැපයීමට අවසරදී ඇති රටවල් 79 හි සිටින ඕනෑම අයෙක්ට සේවය ඇනවුම් කළ විට උපාංග කට්ටලයක් ලැබෙනවා. ඇන්ටෙනාව, රවුටරය සහ එය ඇටවීමට අවශ්‍ය කොටස් සහ කේබල් එයට අයත් වෙනවා. ඇන්ටෙනාව තැබිය යුත්තේ අංශක 100 පරාසයක අහස පැහැදිලිව පෙනෙන සේ. රවුටරය වැඩ කරන මායිමේ තබා ගත හැක. ඉන්පසුව ජංගම දුරකතනයක් ඔස්සේ ප්‍රවේශවී තම සම්බන්ධතාව සකසා ගැනීම පමණයි කළ යුත්තේ. ස්ටාර්ලිංක් ජනප්‍රියවීමට බලපෑ එක් හේතුවක් සේ සැලකෙන්නේ එය මෙසේ පහසුවෙන් අටවා ගත හැකි නිසයි. ජනප්‍රියත්වයට බලපෑ අනෙක් හේතුව, මෙහි අන්තර්ජාල වේගය අන් තාක්ෂණවලට වඩා වැඩිවීමයි.

සාමාන්‍ය චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබන විට, එම චන්ද්‍රිකා තිබෙන්නේ පොළොවෙන් කිලෝමීටර් 36000 ක් ඉහළ භූ ස්ථාවර කක්ෂයේ (GEO – geostationary satellites) නිසා පොළොවත් සමඟ දත්ත හුවමාරුවට තත්පර 240ක් ගත වෙනවා. එහෙත් මෙම පරක්කුව ස්ටාර්ලිංක් ජාලයේදී තත්පර 20කි. එනිසා දත්ත හුවමාරුව වේගවත්ය. අනෙක්අතට සෑම විනාඩි හතරකටම වරක් එක් චන්ද්‍රිකාවක් ඇන්ටෙනාවේ ග්‍රාහක පරාසය පසු කරගෙන යනවා. එනම් විනාඩි හතරෙන් හතරට ඇන්ටෙනාව අලුත් චන්ද්‍රිකාවක් දැක, දත්ත හුවමාරු කරගන්නවා. එනිසා එකම වේගය ඇති අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවක් ලැබෙනවා මිස, කිසි බිඳ වැටීමක් නැහැ.

ස්ටාර්ලිංක් සමාගම හුදෙක් අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන්නේ සාමාන්‍ය නිවැසියන්ට පමණක් නොවේ. ව්‍යාපාර ආයතන මෙන්ම අධ්‍යාපන ආයතන මෙන්ම ආරක්ෂක හමුදා වෙනුවෙන්ද
විවිධ පැකේජ යටතේ සේවා ලබා හැකි ස්ටාර්ලිංක් ඇන්ටෙනා තිබෙනවා. එසේම වාහනවල සවි කල හැකි බැවින් නාවික යාත්‍රාවලට ස්ටාර්ලිංක් චන්ද්‍රිකා ඔස්සේ අන්තර්ජාල මෙන්ම ගුවන් යානාවලටද ස්ටාලිංක් අන්තර්ජාල සම්බන්ධතාව ලද හැකියි.

මෙම සියලු සේවා අංශ ඔස්සේ ස්ටාර්ලිංක් සේවය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. 2022 වසරේදී මිලියනයක්වූ ග්‍රාහක සංඛ්‍යාව, 2023දී මිලියන දෙකක්ව, දැන් මිලියන තුනක් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් වියදම් කොට තිබෙන ධනස්කන්ධය අනුව තවමත් ස්ටාර්ලිංක් සමාගම ලොකු ලාබයක් උපයන්නේ නැහැ. 2022 වසරේදී සමාගමේ පාඩුව බිලියන 1.4ක් වුවත්, 2023දී සුළු ලාභයක් ලැබූ බව සමාගම නිවේදනය කළේ, 2024 වසරේදී බිලියන 6.6ක ආදායමක් බලාපොරොත්තු වෙන්නේ යැයි කියමින්.

ස්ටාර්ලිංක් තරගකරුවෝ ස්ටාර්ලිංක් සමාගම මෙසේ පහළ පෘථිවි කක්ෂයක පිහිටුවනු ලැබූ චන්ද්‍රිකා මඟින් අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන එකම සමාගම වුවත්, ඉදිරියේදී එම සැපයීම පිණිස පිහිටුවා ඇති සමාගම් කීපයක්ද තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ යූටෙල්සැට් වන් වෙබ් සමාගම ඉන් මුල් තැනට එන්නේ, දැනටමත් එම සමාගම විසින් කුඩා චන්ද්‍රිකා 544 ක් පොළොවට කිලෝමීටර් 1200 ඉහළ අහසේ කක්ෂගත කර ඇති බැවිනි. දැන් අත්හදා බැලීම් කරන වන්වෙබ් සමාගම, ඉක්මණින්ම සිය සේවය ඇරඹීමට අපේක්ෂා කරනවා.

ඇමේසන් සමාගම විසින් දියත්කරන්නට සැලසුම් කර තිබෙන කූපර් ප්‍රොජෙක්ට් යනු චන්ද්‍රිකා 3236 කින් යුත් ජාලයක්. අදියර කීපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කූපර් ප්‍රොජෙක්ට්ස් පළමු අදියර ඇරඹෙන්නේ චන්ද්‍රිකා 578 ක් කක්ෂගත කළ විටයි. පසුගිය 2023 ඔක්තෝබර් 06 වැනිදා චන්ද්‍රිකා දෙකක් කක්ෂගත කරමින් දැන් මෙම ව්‍යාපෘතිය අරඹා තිබෙනවා. එය 2029 වෙන විට සේවය අරඹනු ඇතැයි අපේක්ෂිතයි.

කැනඩාවේ ටෙලි සැට් සමාගම, පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා ජාලයක් ඔසේ අන්තර්ජාල සේවා ලබාදෙන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබූයේ 2016 දීය. පොළොවට කිලෝ මීටර් 1000ක් ඉහළ අහසේ රඳවන චන්ද්‍රිකා 120කින් මෙය සමන්විතයි. ටෙලිසැට් ලයිට් ස්පීඩ් නම් මෙම ව්‍යාපෘතියේ චන්ද්‍රිකා තුනක් දැනටමත් කක්ෂගත කර අත්හදා බැලීම් කරනවා. වර්ෂ 2026දී මෙය දියත් කරනු ඇති. යුරෝපා සංගමය, මෙවැනි චන්ද්‍රිකා ජාලයක් දියත් කරන බව, 2022 නොවැම්බර් මාසයේදී නිවේදනය කළා. අයිරිස් 2 ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, 2027 සම්පූර්ණ කිරීමට නියමිතය.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *