Press ESC to close

විසිවස් වියැති ෆේස්බුක්

තිස් පස් වසරක ලෝක ව්‍යාප්ත ජාල ඉතිහාසය තුළ බිහිවූ ලෝකයාට බෙහෙවින්ම බලපෑම් කළ වෙබ් සේවය ෆේස්බුක්ය. අන්තර්ජාලය මානුෂික හැගීම් හුවමාරු කර ගන්නා තැනක් බවට පත් කරනු ලැබූයේ ෆේස්බුක් විසිනි. එය පුරෝගාමී සේවයක්. එනම් කලින් තිබූ කිසිදු සේවයක ආභාෂය නොලැබූවක්. අද ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය අවකාශය වෙන මෙම ෆේස්බුක් සේවය පටන්ගත්තේ මීට අවුරුදු විස්සකට කලින්(පෙබරවාරි 4, 2004).

විසිවස් වියැති ෆේස්බුක් මිතුරු හවුල් වෙබ් අඩවිය වෙත අද නිතර එන යන සෙනඟ, ලෝක ජනගහනයෙන් 38% ක්. අන්තර්ජාලය භාවිතා කරන සෙනගෙන් 57% ක්. එනම් කෝටි තුන්සියයකට හෙවත් බිලියන තුනකට වැඩියි. ඒ අය තමා දන්නා හඳුනන අය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් මානුෂික සබඳතා ඇති කර ගෙන සිටිනවා. ඔවුන් අතරින් වැඩි දෙනෙක් තමන්ගේ ෆේස්බුක් පිටුව විවෘත කරන්නේ හුදෙක් කිසිදු වෙබ් සේවාවක් ලබා ගැනීමට නොවෙයි. තම නෑදෑ හිතමිතුරන් ගැන සොයා බලන්නටයි. හරියට ගමක ගැමියන් මෙන්. රටක ජාතියක් මෙනි.

Get Your Site Up with A2 Hosting

මේ අනුව මෙම ‘ෆේස්බුක් මහජනයා තනි රටක ජනයා යැයි මොහොතකට සිතුවොත්, එය ජනගහනය අතින් ලොව විශාලම රට වනු ඇති. එහෙත් මේ රටට දේශසීමා නැහැ. එය අන්තර්ජාලය තුළ මැවී තිබෙන අපූරු රටක්. මේ ‛ෆේස්බුක් රට ‘ බිහි කරනු ලැබූයේ, ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී, මාක් සකර්බර්ග් විසින්, 2004 පෙබරවාරි 04 වැනිදායි.

මාක් සකර්බර්ග්, 2003 ඔක්තෝබර් 28 වැනිදා අමුතු පන්නයේ පරිගණක වැඩසටහනක් ලියා අවසන් කලා. විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලය සමඟ සම්බන්ධවී මෙය ක්‍රියාත්මක වෙන විට, විශ්ව විද්‍යාල සිසුන්ට එකිනෙකා සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ඔන්ලයින් ගිණුමක් සකසා ගන්නට මෙම වැඩසටහනෙන් ඉඩ සලසා දුන්න. ෆේස්මැෂ් (Facemash) ලෙස නම් කළ මෙම වැඩසටහන ප්‍රසිද්ධ කර ගෙවී ගිය පැය විසි හතරක කාලය තුළ හාවඩ් සිසු සිසුවියෝ 1200 ක් ඊට සම්බන්ධ වුනා. ඡායාරූප 22 000 ක් හුවමාරු කර ගත්තා. මෙම ජනප්‍රියත්වය නිසාම ෆේස්මැෂ් ඇසුරෙන් අලුත් වෙබ් සේවයක් පටන් ගන්නට සකර්බර්ග් පෙළබුනා. එය ෆේස්බුක් වෙබ් සේවයයි.

මෙසේ ඇරඹි ෆේස්බුක් වෙබ් සේවය ජනප්‍රිය වෙනවාත් සමඟම එයට තවත් සේවා සහ නිමැවුම් එක් කරමින් සමාගමේ ධාරිතාව වැඩි කෙරුනා. එයට ගැළපෙන සේ 2021 ඔක්තෝබර් 28 වැනිදා ෆේස්බුක් සමාගමේ නම මෙටා ලෙස වෙනස් කරා. මෙටා යනු සමාජ මෙටාවර්ස් සමාගමක් යැයි එතැන් සිට හැඳින්වුනා.

එයට අනුව ෆේස්බුක් සමාගමේ වර්චුවල් රියැලිටි (VR) සහ ඕග්මෙන්ටඩ් රියැලිටි (AR) තාක්ෂණ දියුණු කරන ආයතනය හඳුන්වන්නේ, ෆේස්බුක් රියැලිටි ලැබ්ස් වශයෙන්. ෆේස්බුක් සේවය, ඉන්ස්ටග්‍රෑම් සේවය, වට්ස්ඇප් සේවය, මැසෙන්ජර් සේවය යනාදියේ නම් එලෙසම තිබුණත් ඒ සියල්ල මෙටා සමාගම යටතේ පවතිනවා. මෙම මෙටා සමාගමේ සේවා සියල්ල එකිනෙක හා සම්බන්ධ කර, දැන් ලෝකයා අත්විඳින සැබෑ ලෝකය, ඔන්ලයින් ලෝකය සමඟ ඒකාබද්ධ කර අලුත් ලෝකයක් තැනීම සමාගමේ අනාගත අරමුණයි. මෙටාවර්ස් යනු එයයි. දැන් එයට ගැළපෙන සේ ෆේස්බුක් සේවයේ පෙනුමද නවීකරණය කර තිබෙනවා.

ෆේස්බුක් වෙබ් අඩවිය වෙත දිනපතා පිවිසෙන සෙනඟ කෝටි 210ක් හෙවත් බිලියන 2.1ක්. සෑම විනාඩියකදීම හාරසිය දෙනෙක් ෆේස්බුක් වෙත පිවිසෙනවා. ඒ කාලයේදී ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරන කමෙන්ට්ස් ගණන පන්ලක්ෂයක්. විනාඩියකදී සටහන් කරන ලයික් පෝස්ට් ගණන හතළිස් ලක්ෂයක්. ස්ටේටස් අප්ඩේට් කිරීම් ලක්ෂ තුනකි. ෆොටෝ අප්ලෝඩ් කිරීම් එක් ලක්ෂ හතළිස් දහසකි. මේ සියල්ලෙන් උපදවන තොරතුරු ප්‍රමාණය ගිගාබයිට් මිලියනයකි.

මෙසේ ෆේස්බුක් වෙත පිවිස හැසිරෙන සෙනඟ අතරින් 43.7% ක් කාන්තාවෝ වෙනව. පිරිමි ගණන 56.3% කි. මේ අය අතරින් 4.8% ක් දෙනා වයස අවුරුදු 13ත් 17 ත් අතරය. අවුරුදු 18 ත් 24 ත් අතර සෙනඟ 21.5% කි. වැඩිම ප්‍රතිශතය වෙන 29.9% ක්ම වයස 25ත් 34 ත් අතර අයයි. වයස 45ත් 54ත් අතර සෙනඟ 11.6% කි. වයස 55ත් 64ත් අතර සෙනඟ 7.3% කි. වයස අවුරුදු 65ට වැඩි සෙනඟ 5.6% කි.

ෆේස්බුක් වෙත පිවිසෙන්නන් අතරින් 81.8% ක් දෙනා ජංගම දුරකතන භාවිතා කරනවා. ජංගම දුරකතන ඔස්සේ මෙන්ම පරිගණක ඔස්සේත් ෆේස්බුක් සේවය වෙත පිවිසෙන සෙනඟ 16.7% කි. පරිගණක ඔස්සේම පමණක් ෆේස්බුක් වෙත පිවිසෙන්නේ 1.5% ක් තරම් අඩු සෙනඟකි.

තම රුචි අරුචිකම් ගැන තොරතුරු ඇතුළුව ෆේස්බුක් වෙත සපයන සෑම තොරතුරක්ම ෆේස්බුක් සමාගමට මහා ධනයක්. ඔවුහු මේ තොරතුරු ඉතා සූක්ෂමව මෙහෙයවා දැවැන්ත දැන්වීම් වෙළෙදපොළක් තනා ගෙන සිටිනවා. ඒවා ඇසුරෙන් වෙළෙඳ දැන්වීම්කරණයට දැන් උපාය ගණනාවක්ම ෆේස්බුක් සේවය යොදා ගන්නවා. මෙම උපායවල උදව්වෙන් වෙළෙඳාම් කිරීමේ අරමුණ ඇතිව, සෑම සතියකම ෆේස්බුක් වෙත පිවිසෙන සෙනඟ බිලියනයකි. ඒ, ෆේස්බුක් බිස්නස් පේජ් කෝටි හතරක් හෙවත් මිලියන 40ක් ඔස්සේය.

ඒ අය තම වෙළෙඳ ව්‍යාපාරයෙන් ඉලක්ක කරන්නේ ෆේස්බුක් සේවය භාවිතා කරන, මිලදී ගැනීමේ හැකියාව ඇති සෙනඟයි. මෙසේ මිලදී ගැනීමේ හැකියාව වැඩි සෙනඟ වශයෙන් දැන ඇත්තේ අවුරුදු 18 ත් 34 ත් අතර ජනයායි. මේ සෙනඟ ෆේස්බුක් වෙත මුදල් ගෙන එන අයයි. මේ එක් අයෙක්ගෙන් ෆේස්බුක් සමාගම උපයා ගන්නා මුදල දළ වශයෙන් ඩොලර් 10කි.

ෆේස්බුක් සමාගමේ වෙළෙඳ දැන්වීම්කරණ ක්‍රම සියල්ලටම පාදක වෙන පොදු උපාය මාර්ගය, සකසනු ලැබූයේ, 2008 සිට 2022 දක්වා ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස වැඩ කරනු ලැබූ ෂෙරිල් සැන්ස්බර්ග් විසිනි. ඇය ගූගල් සමාගමේ වෙළෙද දැන්වීම් රටාව නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමී සේවයක් ඉටු කළා. ඉන්පසුව, වසර 2008 දී ගූගල් අතහැර ෆේස්බුක්
වෙත ආවා.

ගූගල් සමාගම වෙළෙඳ දැන්වීම් සඳහා ඉඟි ලබා ගන්නේ ගූගල් සර්ච් එන්ජිමෙන් සහ ජීමේල් ගිණුම්වලින්. සර්ච් කරන්නට යොදන වචනවලට සහ ඊමේල් යවන විට ඒවායේ සටහන් කරන වචනවලට ගැළපෙන සේ, එම සර්ච් රිසල්ට්ස් සමඟ හෝ ජීමේල් පිටු වෙත හෝ දැන්වීම් යැවීම ගූගල් ක්‍රමයක්. මෙය, ඉලක්කගත දැන්වීම්කරණය ලෙස හඳුන්වනවා.

එහෙත් ෂෙරිල් සැන්ස්බර්ග් ෆේස්බුක් වෙත පැමිණ හඳුන්වා දුන්ක්‍රමය මීට වෙනස්ය. ෆේස්බුක්, නොයෙක් උපක්‍රමවලින් යම් පරිශීලකයෙක්ගේ පමණක් නොව, ඒ පරිශීලකයාගේ මිතුරු මිතුරියන්ගේත් රුචි අරුචිකම් ගැන තොරතුරු උකහා ගන්නව. නිදසුනක් ලෙස ෆේස්බුක් සමඟ ඇති ලයික් විශේෂාංගය ගනිමු. එම බොත්තම තද කර අප කැමති දේ තෝරන්නට පුළුවන්. ෆේස්බුක් සමඟ සිටින අපගේ මිතුරන් තුන් දෙනෙක් යම් බීම වර්ගයක නමකට ලයික් ප්‍රතිචාරයක් ලබා දුනහොත්, අපගේ ෆේස්බුක් එකවුන්ට් එකට එම බීම වර්ගය ගැන වෙළෙද දැන්වීමක් එනවා. ඒ නිකම්ම නොවේ. අපගේ අහවල් අහවල් මිතුරන් එයට කැමති බවද කියමින්. යහළුවන් කැමති දේට මමත් කැමති වී බැලුවොත් හොඳය කියන සාමාන්‍ය සමාජ පෙළැඹීම මෙතැනදී දැනෙනවා. එවිට කලින් කී බීම වර්ගය රස බලන්නට ඔහුටත් සිතෙනව. මෙය, බලපෑම් දැන්වීම්කරණය (pressure advertising) ලෙස හඳුන්වයි.

මෙසේ වෙළෙඳ දැන්වීම්වලින් උපයාගත් ආදායමෙන් අද ෆේස්බුක් සමාගම සතුව තිබෙන වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියනයක්. එය, ඇමෙරිකාවේ ඉතා වටිනාම වෙළෙඳ සමාගම් අතරින් එකකි. පසුගිය 2023 වසරේ ෆේස්බුක් සමාගමේ ලාභය ඩොලර් බිලියන 39කි. මෙසේ ලබන ලාභයෙන් වැඩි පංගුවක හිමිකරු, එහි ප්‍රධාන විධායක, 39 හැවිරිදි මාක් සකර්බන්ග්ය. මෙම 2024 පෙබරවාරි මාසය වෙන විට ඔහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 169.6කි. ඒ අනුව හේ අද ලොව හතර වැනියට ධනවත්ම තැනැත්තාය.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *